Wednesday, November 21, 2012

විජිත පුර සටනේ ළෙල දුන් විරෝධාර අසිපත සුරනිමල (1)





 කාශ්‍යප බුදුරජුන් සමයෙහි සතුන් මරමින් දඩයක්කරුවෙකු ලෙස ජීවිතයක් ගත කළ මොහු ඒකල්හී රහතන් වහන්සේ නමකට දානයක් පුජා කර උන්වහන්සේගෙන් බණ අසා යහපත් ජීවිතයක් ගත කරමින්, නොයෙකුත් කුසල් කොට දෙව්ලොව ඉපදුණි. එහි බොහෝ විඳ, කාවන්තිස්ස රජ දවස එතුමාගේ පුත්‍රයෙකු වු දීඝාභය රාජකුමාරයාගේ ජනපදයක උපත ලැබීය. ඒ කොටසර කීලවැව නම් ජනපදයේ කඩවිටි නම් ගමේ සංඝ නමින් හැඳින් වු පොහොසත් ගැමියාට දාවය. වතුපිටි, හේන්, වෙළදාම අදියෙන් ඔහුට හොඳින් මුදල් තිබුණි. මේ වෙළෙන්දාගේ දරුවන් හත්දෙනාගෙන් බාලයා වුයේ නිමල නම් මේ දරුවා යි.
එළාරගෙන් සිංහලයන් වාසය කළ මාගමට නිතර කරදර ඇති වුණි.මාගම රජ කළ කාවන්තිස්ස රජතුමා, මහවැලි ගඟ අසබඩ කසා‍තොට නම් ස්ථානයෙහි සිංහල හමුදාවක් නවතා තැබුවේ ය. මේ හමුදාව භාරව සිටි දිඝාභය කුමාරයා, ගමේ සැම ගෙදරකින් ම එක් අයෙකු බැඟින් මේ සිංහල හමුදාවට බැඳිය යුතු යැයි අණ බෙරයක් යැවී ය. මේ අණ කඩවිට ගමේ වාසය කළ සංඝට ද දුතයකුගේ මාර්ගයෙන් අසන්නට ලැබිණි. ඔහු තම පුතුන් කැඳවා මේ ගැන කැමැත්ත විමසි ය. “ ඇයි තාත්තා, කිසි ම වැඩක් නො කර කකා බිබී හුරතල් වෙවී  ඉන්න පොඩි පුතාව යවන්න. අපි ගොවිතැන් කරන්න, වෙළඳාම් කරන්න කොච්චර මහන්සි වෙනව ද? ” යැයි නිමලගේ සොයුරෝ හය දෙනා කියා සිටියහ. සංඝ තම බාල පුතු වු නිමල, දීඝාභය කුමාරයා වෙත යැවීමට තීරණය කළේ ය. 
 නිමල ඉර පායන්නට කලින් කඩවිටි ගම සිට කසාතොටට පිටත් වුණි. ඉර පායන විට ම ඔහු දීඝාභය කුමරු මුණ ගැසුනේ ය. “කවද ද ගෙදරින් ආවේ?” කුමරු විමසීය. “යොදුන් දොළහ අවේ පාන්දරි ම යි” නිමල කීවේ ය. මේ කතාව අසා කුමරු පුදුම වුණි. මෙපමණ ඉක්මනට ගමන් කරන්න පුළුවන් ද කියා පරීක්ෂා කිරිමට කුමාරයා නිමල ඇමතී ය. “යළුවා මට පොඩි උදව්වක් ඕනෑ. මගේ කුණ්ඩල කියලා යාළු බමුණෙක් ඉන්නවා, මිහින්තලේ ද්වාර මණ්ඩල කියන ගමේ. ඔහු ලග තියෙනවා පිටරටින් ගෙනා සඳුන්, කපුරු ආදිය තවරපු රෙදි පිළි. මේ ලියුමත් ගෙන ගිහින් ඔහු දෙන දෙයක් ගෙනෙන්න. ”යැයි කීවේ ය. නිමල යොදුන් නවයක් දුර ගෙවා, උදය වරුවේ ම ගොස් කුණඩල බමුණා මුණ ගැසුණේ ය. “ කවද ද කසාතොට ඉඳන් ආවේ?” බමුණා ඇසී ය. “උදේට කාලා පිටත් වුණා” නිමල කී ය. එහෙනම් වැවට ගිහින් නාලා එහෙම එන්න. බමුණා නිමලට කීවේ ය. ඔහු වැව තිබෙන තැන දන්නේ නැත. නිමල අනුරාධපුරයේ තිසා වැව‍ට ගොස් නා, ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ ථුපාරාමයට මල් පූජා කොට මානෙල් මල් පොකුණකින් මල් කඩාගෙන උදේ කාලයේ ම බමුණා වෙත පැමිණියේ ය. “ කොහෙ ද දරුවො ගියේ? ” බමුණා ඇසීය. නිමල සියළු පුවත් පැවසීමෙන් පසු ඔහුගේ ගමන් වේගය ගැන බමුණා පුදුමයට පත් විය. මොහු ගැන දැනගතහොත් එළාර රජු තම සේනාවට බඳවා ගනීවි යැයි සිතා කාවන්තිස්ස රජතුමා වෙත හසුනක සියලු විස්තර ලියා දීඝාභ‍‍ය කුමරු වෙත යැවී ය. කුමරු මෙය දැක බොහෝ සතුටු වී නිමලට මසුරන් දහසක් දෙන ලෙස නියම කළේ ය.        


Sunday, September 2, 2012

සාදු ! සාදු !! අප මුණිදුගේ ධාතු වදින්නේ....



 තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ ම නුවණින් අවබෝධ කරගත්තා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සියලු ලෝ සතුන් ගේ හිත සුව පිණිසම දේශනා කොට වදාළහ. පන්සාළිස් වසක් පුරා එසේ ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් දහම් මඟ පෙන්වා දුන් උන්වහන්සේ අසූ වැනි වියෙහි දී පිරිනිවන් පා වදාළහ. ඒ දඹදිව කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ උපවර්තන නම් සල් උයනේ දී ය. 

 අඩ සියවසකට ආසන්න කාලයක් පුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය හා අභිධර්ම පිටකය නමින් වර්තමානයේ ව්‍යවහාරව පවතී. සූත්‍ර පිටකයේ මහා පරි නිබ්බාන සූත්‍රයේ සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇතුළත්ය. මහා පරිනිබ්බාන සූත්‍රයෙත්, සුමංගල විලාසිනිය හා බුද්ධ වංශය වැනි මූලාශ්‍රවලත් සඳහන් වන තොරතුරුවලට අනුව බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණය සැළ වූ වහාම දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ සේනා සහිතව කුසිනාරා නුවරට පැමිණ සර්වඥ ධාතූන් වහන්සේට සිය අයිතිය ප්‍රකාශ කරන්නට වූහ. 

භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්ෂත්‍රියයෝය. එබැවින් ධාතුන් වහන්සේ ගේ නියම හිමිකාරීත්වය අපටය.යි රජ දරුවෝ සිය සුදුසුකම් ඉදිරිපත් කළහ.තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අප ග්‍රාමයේ ය. එහෙයින් උන්වහන්සේ ගේ ආදාහනයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේ ගේ අයිතිය අපටමය. අන් අයට දිය නොහැකියයි කුසිනාරාවේ මල්ල රජවරු කීහ.
භාග්‍යවතුන් වහන්සේ අප ගේ ශ්‍රේෂ්ඨ ඥාතියෙකි. අපි ද උන්වහන්සේ ගේ ශාරීරික ධාතුන්ගෙන් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. අපි උන්වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේ උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සවද කරන්නෙමු…” යි කපිල වස්තු ජනපදයේ ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේට ලේ ඥාතීත්වයක් ඇති බව ප්‍රකාශ කර සිටියහ.

මෙසේ රජදරුවන් සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් සිය අයිතිය ප්‍රකාශ කරමින් සිටියදී සිදු වන්නට යන අර්බුදය නුවණින් දුටු ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාර්ය තෙමේ
පින්වත් රජවරුනි. මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණන් වහන්සේ ක්ෂාන්තිවාදී වූහ. (සාමය අගය කළ උතුමෙක් වූහ.) ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේ ම ය.යි සියලු රජදරුවන් සමඟි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දුන්හ.

රජ දරුවෝ තම තමන්ට ලැබුණු ධාතු ඒ ඒ පාලන ප්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළහ. මේ පිළිබඳ වැදගත් තොරතුරු ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්ය.
මේ අනුව කිඹුල්වත් පුර කපිල වස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට ලැබුණු ධාතුන් වහන්සේ තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ. කපිල වස්තු ධාතුනමින් මෙකල හඳුන්වන්නේ ඉහත විස්තර කළ පරිදි බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ද්‍රෝණ නම් බමුණා විසින් කපිල වස්තු ශාක්‍යයන්ට බෙදා දුන් ධාතුන් වහන්සේය. අදින් වසර 2400 ට පමණ පෙර කපිල වස්තුවේ රජදරුවන් විසින් ධාතුන් වහන්සේ තැන්පත් කර එසේ ඉදිකරන ලද චෛත්‍යය, කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබූ සම්බුද්ධ ධාතුන් වහන්සේ ය. 

මෙම පූජනීය ධාතුන් වහන්සේ සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහම් මහතාට ය. ඔහු ගේ මූලිකත්වයෙන් කළ පුරා විද්‍යා කැණීම්වලදී අදින් වසර 113 ට පමණ පෙර මේ ධාතුන් වහන්සේ සහිත කරඬුව හමුවිය. ඒ වර්තමාන බිහාරයේ (උත්තර ප්‍රදේශය) පි‍්‍රපාවානැමැති ස්ථානයෙනි.
වත්මන් පි‍්‍රපාවාප්‍රදේශය ඉතිහාසයේ කපිලවස්තුවයි. කපිල වස්තු නම් පුරාණ ජනපදයෙන් හමු වූ නිසාත්, කපිල වස්තු ශාක්‍යයන් විසින් මෙම ධාතුන් වහන්සේ තැන්පත් කොට චෛත්‍යයක් ඉදිකළ නිසාත් මෙම ධාතුන් වහන්සේ කපිල වස්තු ධාතුනමින් ම හැඳින්වේ.

ලොව බොහෝ බෞද්ධ ජනතාව සර්වඥ ධාතුන් ජීවමාන බුදු රජාණන් වහන්සේ හා සමානව වන්දනාමාන කළ ද ඇතැම් පිරිස් මේ සර්වඥ ධාතුන් ම දැයි ඒ පිළිබඳ යම් යම් සැක පහළ කර ගන්නා බවද දක්නට ලැබේ. එහෙත් එම ස්ථානයේ දී හමු වූ ධාතු කරඬු පරීක්‍ෂා කිරීමේදී ඒවායේ වසර 2300 ක් තරම් පුරාණ බ්‍රාහ්මී අක්‍ෂරයෙන් රචිත පද පේළි කීපයකින් සමන්විත ලිපියක් හඳුනා ගත හැකි විය.මේ බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපිය ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ විසූ දඹදිව ධර්මාශෝක රජුට අයත් බව ලෝ ප්‍රකට පුරාවිද්‍යා පර්යේෂකයෝ, සෙල්ලිපි පිළිබඳ උගත්තු නිවැරැදිව හඳුනා ගත් හ. බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපියේ සිංහල පරිවර්තනය පහත පරිදිය. 

1. සුකිතිභතානං සභගි
2. නිකානං සපුතදලනං
3. ඉයං සලිල නිධනෙ
4. බුධස භගවතෙ සකියානං 

 ශාක්‍ය පුත්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු මෙහි තැන්පත් කර ඇති බව ඉයං සලිල නිධනෙ බුධස භගවතෙ සකියානංයන කොටසින් තහවුරු වේ.
ඒ අනුව මෙම ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම බව සමස්ත ලෝකයේම පුරාවිද්‍යාඥයින් විසින් ද පිළිගෙන අවසන් ය. 

ලංකා ස‍යිබර් නිව්ස්  වෙබ් අඩවියේ උපුටා ගන්නා ලදි.

Wednesday, August 8, 2012

මහා සෝණ යෝධයා

මුලින්ම ලියන්නේ වීර කතාවක්. " රට එක්සේසත් කරවා අද්විතීය යුග මෙහෙවරක් ඉටු කළ වීර නරනිදු වු දුටුගැමුණු රජතුමාට ඒ විකුම් මෙහෙවර ඉටු කිරිමෙහි ලා දස මහ යෝධයන්ගෙන් ලැබුණේ සුවිසල් සහයෝගයකි. අද මෙ‍ම බ්ලොග් අඩවියෙන් දිග හැරෙන්නේ ඉන් එක් අයකු වු මහා සෝණ යෝධයා ගැන යි "
    මොහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මිනිස් ලොව ඉපිද සඟරුවනට දන් දුන් පිනෙන් දෙව් ලොව උපත ලබා‍ බොහෝ සම්පත් විඳ, ඉන් චුතවී ලක්දිව උපත ලැබුවා. මේ වීරයා මල්වතු ඔය ආසන්නයේ උතුරු කරවිට නම් කුඩා ගමක ගම් ප්‍රධානියෙකුට දාව ඉපදුණා. මේ තිස්ස කියන කෙළෙඹි පුත්‍රයාට පුතුන් සත් දෙනෙක් සිටියා. මව්පියෝ සත්වැනිව උපන් පුත්‍රයාට සෝණ කුමාර කියලා නම තිබ්බා. කුඩා සෝණ පවුලේ හුරතලා වුවා සේ ම බාල වියේ සිටම ඉතාමත් ශක්ති සම්පන්න උස මහත ශරීරයකින් යුතු දරුවෙකු වුනා. තම වැඩිමහලු සොයුරන්ට වඩා බය නැති, ඔනෑ ම දෙයක් කිරිමට හපන් දරුවෙක් වුනා. සෝණ හත් වැනි වියට පා තැබුවා පමණි, මොහු තමාට වඩා උස තල් ගස් උදුරා දැමුවා. වයස අවුරුදු දහය වන විට විශාල තල් ගස්, පොල් ගස්  උදුරා දමන්නට තරම්  ශක්ති සම්පන්න වුනා. තල් ගස්, පොල් ගස්  උදුරා දමන විට යහළුවෝ විශ්මයෙන් බලා සිටියා. සෝණගේ මෙම ක්‍රියා නිසා ඔහු මහා සෝණ නමින් ප්‍රසිද්ධ වුනා. සෝණ තුරුණු වියට එලඹෙත්ම ශක්ති සම්පන්න බවින් ද රූපයෙන් ද වැඩුණා. ඔහුට සිත් ඇදගන්නා රූපයක් සහ ඇතුන් දහ ‍දෙනෙකුගේ පමණ ශක්තියක් ද සතු වුණා. 

   සෝණගේ මේ දස්කම් ලක්දිව පුරා පැතිරී ගියා. එකල මාගම රජ කළ කාවන්තිස්ස රජතුමාටත් මේක අරංචි උණා. රජතුමා සෝණගේ පියා‍ට පුද පඬුරු දී පණිවිඩකරැවකු පිටත් කළා. "රජතුමා ඔබගේ පුතාගේ දස්කම් දැනගෙන ති‍බෙනවා. ඒ නිසා මේ තෑගි ‍බෝග අරගෙන පුතා රාජ සේවයට එවන්න." පණිවිඩකරු කිව්වා. රජතුමා දෙමළ සේනාවට විරුද්ධව සටන් කිරීම‍ට සූදානම් වන බව සෝණගේ පියා දැන ගෙන සිටියා. එම නිසා ඔහු සතුටින් තම පුතු රජතුමා වෙත යැව්වා. " පුතා ඔබ කාවන්තිස්ස රජතුමා මුණ ගැහෙන්න." පියා කිව්වා. ඔහු මව්පියන් වැදලා මාගමට ගොස් රජතුමාගේ හමුදාවට බැඳුණා. හමුදාවට බඳවාගත් සෝණට මඟුල් වීදයේ නිවසක් තෑගි ලැබුණා. 

   සියලු දෙනා ඔහු අමතුවේ මහාසෝණ කියලා. ගැමුණු කුමරුගේ විජිතපුර සටනට මහාසෝණ එකතු වුණා. විජිතපුර මහ පව්රු බිද බලකොටුව තුලට අතුළු වුණු සෝණ විශාල තල් ගසක් අතට ගෙන එය හිස වටේ කරකවමින් දෙමළ සේනාව සමඟ සටන් වැදුණා. ඔහු උතුරු පැත්තේ වාසල් දොරටුවෙන් සටනට සම්බන්ධ වු බව ස්ථුපවංශයේ සඳහන් වෙනවා. දෙමළ ආක්‍රමණිකයන් සමඟ කළ සටනින් පසුව  මහාසෝණ යෝධයා ගැන වාර්ථා වී ඇත්තේ අල්ප වශයෙන්. පසුව මෙම මහාසෝණ යෝධයා රජතුමා සමඟ පින් දහම් කර කර්මානුකූලව මිය පරලොව ගියා.
   
මම ඒකාලේ හිටියා වගේ ලිව්වට මහාමේඝ මාසික පුවත් සඟරාවේ "හෙළ දෙරණේ සිංහ පෝතකයෝ" කියන කොටසින් තමයි උපුටා ගත්තේ. මේක ලියල තිබ්බෙ මානෙල් පොඩිමැණිකේ කියලා කෙනෙක්.
    

%%% ඇරඹුම %%%


   අවුරැදු 2500ක විතර ලිඛිත ඉතිහාසයක් තියන අපේ රටේ රසවත් ඉතිහාස කතා, ජනප්‍රවාදයන් ‍ගොඩාක් තියනවා.අපි හැමෝම වගේ ඒවා අහන්න, කියවන්න කැමතියි.වීර කතා, ආදර කතා, ජන කතා, රස කතා වගේම දුක හිතෙන කතා ගොඩාක් ඉදිරියට මෙම බ්ලොග් අඩවියෙන් දිග හැරේවි...