Sunday, September 2, 2012

සාදු ! සාදු !! අප මුණිදුගේ ධාතු වදින්නේ....



 තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ගේ ම නුවණින් අවබෝධ කරගත්තා වූ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සියලු ලෝ සතුන් ගේ හිත සුව පිණිසම දේශනා කොට වදාළහ. පන්සාළිස් වසක් පුරා එසේ ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් දහම් මඟ පෙන්වා දුන් උන්වහන්සේ අසූ වැනි වියෙහි දී පිරිනිවන් පා වදාළහ. ඒ දඹදිව කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ උපවර්තන නම් සල් උයනේ දී ය. 

 අඩ සියවසකට ආසන්න කාලයක් පුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය අන්තර්ගත ත්‍රිපිටකය, සූත්‍ර පිටකය, විනය හා අභිධර්ම පිටකය නමින් වර්තමානයේ ව්‍යවහාරව පවතී. සූත්‍ර පිටකයේ මහා පරි නිබ්බාන සූත්‍රයේ සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳව දීර්ඝ විස්තරයක් ඇතුළත්ය. මහා පරිනිබ්බාන සූත්‍රයෙත්, සුමංගල විලාසිනිය හා බුද්ධ වංශය වැනි මූලාශ්‍රවලත් සඳහන් වන තොරතුරුවලට අනුව බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණය සැළ වූ වහාම දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ සේනා සහිතව කුසිනාරා නුවරට පැමිණ සර්වඥ ධාතූන් වහන්සේට සිය අයිතිය ප්‍රකාශ කරන්නට වූහ. 

භාග්‍යවතුන් වහන්සේත් අපිත් ක්ෂත්‍රියයෝය. එබැවින් ධාතුන් වහන්සේ ගේ නියම හිමිකාරීත්වය අපටය.යි රජ දරුවෝ සිය සුදුසුකම් ඉදිරිපත් කළහ.තථාගතයන් වහන්සේ පිරිනිවන් පා වදාළේ අප ග්‍රාමයේ ය. එහෙයින් උන්වහන්සේ ගේ ආදාහනයෙන් ශේෂ වූ ධාතුන් වහන්සේ ගේ අයිතිය අපටමය. අන් අයට දිය නොහැකියයි කුසිනාරාවේ මල්ල රජවරු කීහ.
භාග්‍යවතුන් වහන්සේ අප ගේ ශ්‍රේෂ්ඨ ඥාතියෙකි. අපි ද උන්වහන්සේ ගේ ශාරීරික ධාතුන්ගෙන් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. අපි උන්වහන්සේ ගේ ශාරීරික ධාතුන් වහන්සේ උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සවද කරන්නෙමු…” යි කපිල වස්තු ජනපදයේ ශාක්‍යයෝ බුදුරජාණන් වහන්සේට ලේ ඥාතීත්වයක් ඇති බව ප්‍රකාශ කර සිටියහ.

මෙසේ රජදරුවන් සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් සිය අයිතිය ප්‍රකාශ කරමින් සිටියදී සිදු වන්නට යන අර්බුදය නුවණින් දුටු ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ආචාර්ය තෙමේ
පින්වත් රජවරුනි. මාගේ මේ වචනය අසන්න. අපගේ බුදු රජාණන් වහන්සේ ක්ෂාන්තිවාදී වූහ. (සාමය අගය කළ උතුමෙක් වූහ.) ඒ උතුම් භාග්‍යවතුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේ වෙනුවෙන් අවි අමෝරා ගෙන යුද වදින්නේ නම් එය සුදුසු නොවන්නේ ම ය.යි සියලු රජදරුවන් සමඟි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දුන්හ.

රජ දරුවෝ තම තමන්ට ලැබුණු ධාතු ඒ ඒ පාලන ප්‍රදේශවල චෛත්‍ය කරවා තැන්පත් කර පූජා සත්කාර කළහ. මේ පිළිබඳ වැදගත් තොරතුරු ථෙරවාදී බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්ය.
මේ අනුව කිඹුල්වත් පුර කපිල වස්තුවේ ශාක්‍යයෝ ද තමන්ට ලැබුණු ධාතුන් වහන්සේ තැන්පත් කොට මහා ථූපයක් කරවා පූජා සත්කාර කළහ. කපිල වස්තු ධාතුනමින් මෙකල හඳුන්වන්නේ ඉහත විස්තර කළ පරිදි බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී දේහය ආදාහනයෙන් පසු ද්‍රෝණ නම් බමුණා විසින් කපිල වස්තු ශාක්‍යයන්ට බෙදා දුන් ධාතුන් වහන්සේය. අදින් වසර 2400 ට පමණ පෙර කපිල වස්තුවේ රජදරුවන් විසින් ධාතුන් වහන්සේ තැන්පත් කර එසේ ඉදිකරන ලද චෛත්‍යය, කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබූ සම්බුද්ධ ධාතුන් වහන්සේ ය. 

මෙම පූජනීය ධාතුන් වහන්සේ සොයා ගැනීමේ ගෞරවය හිමි වන්නේ ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පළමු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස සැලකෙන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහම් මහතාට ය. ඔහු ගේ මූලිකත්වයෙන් කළ පුරා විද්‍යා කැණීම්වලදී අදින් වසර 113 ට පමණ පෙර මේ ධාතුන් වහන්සේ සහිත කරඬුව හමුවිය. ඒ වර්තමාන බිහාරයේ (උත්තර ප්‍රදේශය) පි‍්‍රපාවානැමැති ස්ථානයෙනි.
වත්මන් පි‍්‍රපාවාප්‍රදේශය ඉතිහාසයේ කපිලවස්තුවයි. කපිල වස්තු නම් පුරාණ ජනපදයෙන් හමු වූ නිසාත්, කපිල වස්තු ශාක්‍යයන් විසින් මෙම ධාතුන් වහන්සේ තැන්පත් කොට චෛත්‍යයක් ඉදිකළ නිසාත් මෙම ධාතුන් වහන්සේ කපිල වස්තු ධාතුනමින් ම හැඳින්වේ.

ලොව බොහෝ බෞද්ධ ජනතාව සර්වඥ ධාතුන් ජීවමාන බුදු රජාණන් වහන්සේ හා සමානව වන්දනාමාන කළ ද ඇතැම් පිරිස් මේ සර්වඥ ධාතුන් ම දැයි ඒ පිළිබඳ යම් යම් සැක පහළ කර ගන්නා බවද දක්නට ලැබේ. එහෙත් එම ස්ථානයේ දී හමු වූ ධාතු කරඬු පරීක්‍ෂා කිරීමේදී ඒවායේ වසර 2300 ක් තරම් පුරාණ බ්‍රාහ්මී අක්‍ෂරයෙන් රචිත පද පේළි කීපයකින් සමන්විත ලිපියක් හඳුනා ගත හැකි විය.මේ බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපිය ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ විසූ දඹදිව ධර්මාශෝක රජුට අයත් බව ලෝ ප්‍රකට පුරාවිද්‍යා පර්යේෂකයෝ, සෙල්ලිපි පිළිබඳ උගත්තු නිවැරැදිව හඳුනා ගත් හ. බ්‍රාහ්මී අක්‍ෂර සහිත ලිපියේ සිංහල පරිවර්තනය පහත පරිදිය. 

1. සුකිතිභතානං සභගි
2. නිකානං සපුතදලනං
3. ඉයං සලිල නිධනෙ
4. බුධස භගවතෙ සකියානං 

 ශාක්‍ය පුත්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ ශාරීරික ධාතු මෙහි තැන්පත් කර ඇති බව ඉයං සලිල නිධනෙ බුධස භගවතෙ සකියානංයන කොටසින් තහවුරු වේ.
ඒ අනුව මෙම ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේම බව සමස්ත ලෝකයේම පුරාවිද්‍යාඥයින් විසින් ද පිළිගෙන අවසන් ය. 

ලංකා ස‍යිබර් නිව්ස්  වෙබ් අඩවියේ උපුටා ගන්නා ලදි.