මුලින්ම ලියන්නේ වීර කතාවක්.
" රට
එක්සේසත්
කරවා අද්විතීය යුග මෙහෙවරක් ඉටු කළ වීර නරනිදු වු දුටුගැමුණු රජතුමාට ඒ
විකුම් මෙහෙවර ඉටු කිරිමෙහි ලා දස මහ යෝධයන්ගෙන් ලැබුණේ සුවිසල්
සහයෝගයකි. අද මෙම බ්ලොග් අඩවියෙන් දිග හැරෙන්නේ ඉන් එක් අයකු වු
මහා සෝණ යෝධයා ගැන යි
"
මොහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මිනිස් ලොව ඉපිද සඟරුවනට දන්
දුන් පිනෙන් දෙව් ලොව උපත ලබා බොහෝ සම්පත් විඳ, ඉන් චුතවී ලක්දිව උපත
ලැබුවා. මේ වීරයා මල්වතු ඔය ආසන්නයේ උතුරු කරවිට නම් කුඩා ගමක ගම්
ප්‍රධානියෙකුට දාව ඉපදුණා. මේ තිස්ස කියන කෙළෙඹි පුත්‍රයාට පුතුන් සත්
දෙනෙක් සිටියා. මව්පියෝ සත්වැනිව උපන් පුත්‍රයාට සෝණ කුමාර කියලා නම තිබ්බා. කුඩා
සෝණ පවුලේ හුරතලා වුවා සේ ම බාල වියේ සිටම ඉතාමත් ශක්ති සම්පන්න උස මහත
ශරීරයකින් යුතු දරුවෙකු වුනා. තම වැඩිමහලු සොයුරන්ට වඩා බය නැති, ඔනෑ ම
දෙයක් කිරිමට හපන් දරුවෙක් වුනා. සෝණ හත් වැනි වියට පා තැබුවා පමණි, මොහු
තමාට වඩා උස තල් ගස් උදුරා දැමුවා. වයස අවුරුදු දහය වන විට විශාල තල් ගස්,
පොල් ගස් උදුරා දමන්නට තරම් ශක්ති සම්පන්න වුනා. තල් ගස්, පොල් ගස් උදුරා
දමන විට යහළුවෝ විශ්මයෙන් බලා සිටියා. සෝණගේ මෙම ක්‍රියා නිසා ඔහු මහා සෝණ
නමින් ප්‍රසිද්ධ වුනා. සෝණ තුරුණු වියට එලඹෙත්ම ශක්ති සම්පන්න බවින් ද
රූපයෙන් ද වැඩුණා. ඔහුට සිත් ඇදගන්නා රූපයක් සහ ඇතුන් දහ දෙනෙකුගේ පමණ
ශක්තියක් ද සතු වුණා.
සෝණගේ මේ දස්කම් ලක්දිව පුරා පැතිරී ගියා. එකල මාගම රජ කළ කාවන්තිස්ස
රජතුමාටත් මේක අරංචි උණා. රජතුමා සෝණගේ පියාට පුද පඬුරු දී පණිවිඩකරැවකු
පිටත් කළා. "රජතුමා ඔබගේ පුතාගේ දස්කම් දැනගෙන තිබෙනවා. ඒ නිසා මේ තෑගි
බෝග අරගෙන පුතා රාජ සේවයට එවන්න." පණිවිඩකරු කිව්වා. රජතුමා දෙමළ සේනාවට
විරුද්ධව සටන් කිරීමට සූදානම් වන බව සෝණගේ පියා දැන ගෙන සිටියා. එම නිසා
ඔහු සතුටින් තම පුතු රජතුමා වෙත යැව්වා. " පුතා ඔබ කාවන්තිස්ස රජතුමා මුණ
ගැහෙන්න." පියා කිව්වා. ඔහු මව්පියන් වැදලා මාගමට ගොස් රජතුමාගේ හමුදාවට
බැඳුණා. හමුදාවට බඳවාගත් සෝණට මඟුල් වීදයේ නිවසක් තෑගි ලැබුණා.
සියලු දෙනා ඔහු අමතුවේ මහාසෝණ කියලා. ගැමුණු කුමරුගේ විජිතපුර සටනට මහාසෝණ
එකතු වුණා. විජිතපුර මහ පව්රු බිද බලකොටුව තුලට අතුළු වුණු සෝණ විශාල තල්
ගසක් අතට ගෙන එය හිස වටේ කරකවමින් දෙමළ සේනාව සමඟ සටන් වැදුණා. ඔහු උතුරු
පැත්තේ වාසල් දොරටුවෙන් සටනට සම්බන්ධ වු බව ස්ථුපවංශයේ සඳහන් වෙනවා. දෙමළ
ආක්‍රමණිකයන් සමඟ කළ සටනින් පසුව මහාසෝණ යෝධයා ගැන වාර්ථා වී ඇත්තේ අල්ප
වශයෙන්. පසුව මෙම මහාසෝණ යෝධයා රජතුමා සමඟ පින් දහම් කර කර්මානුකූලව මිය
පරලොව ගියා.
මම ඒකාලේ හිටියා වගේ ලිව්වට මහාමේඝ මාසික පුවත් සඟරාවේ "හෙළ දෙරණේ සිංහ පෝතකයෝ" කියන කොටසින් තමයි උපුටා ගත්තේ. මේක ලියල තිබ්බෙ මානෙල් පොඩිමැණිකේ කියලා කෙනෙක්.